Skip to content

Default screen resolution  Wide screen resolution  Increase font size  Decrease font size  Default font size 
You are here:    Home
36 සකුණ ජාතකය PDF ලෙස මුද්‍රණය කරන්න ඉ-තැපැල්

තවද එක්සමයෙක්හි ජගදානන්දකර වූ බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසනසේක් දහනය වූ පන්සලක් ඇති භික්ෂූ කෙණෙකුන් අරභයා මේ ජාතකය වදාළ සේක.

එක් භික්ෂූකෙණෙකුන් වහන්සේ වනාහි සර්වඥයන් වහන්සේගේ සමීපයෙන් කමටහන් ගෙණ දෙව්රම් වෙහෙරින් නික්ම කොසොල් දනව්වෙහි එක් පසල්ගමක් නිසා එක් අරණ්‍යයෙක්හි සෙනස්නෙක වසන සේක්. ඉක්බිත්තෙන් පළමුවැනි මාසෙහිම උන්වහන්සේගේ පන්සල දහනය වූයේය. ඒ භික්ෂූන් වහන්සේ මාගේ පන්සල දහනවූයේය. දුකින්ම වසමි කියා මනුෂ්‍යයන්ට කිසේක. මනුෂ්‍යයෝ දැන් අපගේ කෙත වියළුනේය, කෙතට දිය හෙලාකොට දෙම්හ. දිය හෙලු කල්හි බිජු වපුටකොට දෙම්හ. බිජු වපුල කල්හි වැටකොට වැටකළ කල්හි නෙලායයි කියාද දාසඳයයි කියාද මැඩවයි කියාද මෙසේ මේ ක්‍රියාව දක්වමින් ම තුන්මසක් කල්යවුවාහුය. ඒ භික්ෂූන් වහන්සේ තුන්මසක් අභ්‍යවකාශයෙහි දුකින් වසන සේක් කමටහන් වඩා විශේෂයක් උපදවාගන්ට නොහැකි වූ සේක. පවුරුණුකොට වනාහි සර්වඡයන් වහන්සේගේ සමීපයට ගොස් නමස්කාර කොට එකත්පසෙක හුන්සේක. සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන් හා පිළිසඳර කථාකොට කිමෙක්ද මහණ, සැපසේ වස් විසුයෙහිද තොපගේ කමටහන් මස්තකප්‍රාප්ත වූයේදැයි විචාළෙ සේක. ඒ භික්ෂූන් වහන්සේ ඒ ප්‍රවෘත්තිය කියා මට සෙනසුන් සප්‍රාය නැති හෙයින් කමටහන් මස්තකප්‍රාප්ත නුවුයේ යයි දැන්වුසේක. සර්වඥයන් වහන්සේ වදාරණසේක් මහණෙනි, පෙර තිරශ්චිනගතයොත් තමහට සප්‍රායා සප්‍රායා දැනගත්තාහුය. තොපි කවර කාරණයකින් නොදත්තාහු දැයි වදාරා ඉකුත්වත් කථාව වදාළ සේක.


යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහාබෝසතානෝ තිරශ්චීන පක්ෂි ජන්මයෙහි ඉපද පක්ෂි සමූහයා විසින් පිරිවරණ ලදුව අරණ්‍ය ප්‍රදේශයෙක්හි ශාඛාවෙල පින් සමුද්ධ වූ මහත් වෘක්‍ෂයක් ආශ්‍රය කොට වාසය කරණසේක. ඉක්බිත්තෙන් එක් දවසක් ඒ වෘක්‍ෂයාගේ ශාඛාවෙන් ඔබිමෙබ ගැටෙන කල්හි සුනු වැගිරෙන්නේය. දුම් නැගෙන්නේය. ඒ දැක බෝධිසත්වයන් වහන්සේ සිතනසේක් මේ ශාඛාවෝ දෙදෙන මෙසේ ඝර්ෂණයට ඝර්ෂණයව ගිනි පහළ වන්නේය. ගිනි පරඬුල්පත් ගන්නේය. එතැන්පටන් මේ වෘක්ෂයද දවන්නේය. මෙතැන්හි අප විසින් වසන්නට නොහැකිය. මෙයින් දිවගොස් අන් තැනකට යන්ට වටනේයයි සිතු සේක. මෙසේ සිතා බෝධිසත්වයන් වහන්සේ පක්ෂි සමූහයාට මෙසේ කිසේක් යම් වෘක්ෂයක් පක්ෂීහු ආශ්‍රය කළෝද ඒ වෘක්ෂය ගිනිහරගත්තේය. වක්‍රවූ ග්‍රීවය හා පක්ෂපත්‍ර ඇති හෙයින් වක්කංග නම් වූ පක්ෂිණි ඒ ඒ දිගුන් සේවනය කරව අපට පිහිටවූ වෘක්ෂයෙන්ම ගිනිවැද භය උපන්නේය. එහෙයින් වරෙව අන්තැනකට යම්හයි ගියාහුය. යම් කෙණෙක් නුවණැත්තෝද ඔහු මේ පරිද්දෙන්ම මෙතම බින්දුවක් පමණ දියෙහි මෙතෙම කිඹුලන් දක්නේයයි කියා බෝධිසත්වයන් වහන්සේගේ වචනය නොගෙණ එතැන්හිම විසුවාහුය. ඉක්බිත්තෙන් නොබෝ කලකින් බෝසතානන් විසින් සිතූ ආකාරයෙන්ම ගිනි පහළව ඒ වෘක්‍ෂය ගිනිගත්තේය. දුම්ද ගිනිදැල්ද නැගී කල්හි දුමින් අන්ධ වූ පක්ෂිහු අන්තැනකට යන්ට නොහැකිවුවාහු ගින්නෙන් වැටි වැටීම විනාශයට පැමිණියාහුය. බුදුරජානන් වහන්සේ මෙසේ වදාරා මහණ පෙර තිරශ්චිනයෝත් දහණ වෘක්‍ෂාග්‍රවල වසන්නාහු තමන්ට සප්‍රායා සප්‍රාය දැන ගත්තාහුය. තෙපි කවරහෙයකින් නොදත්තෙහි දැයි කියා ධර්මදේශනාව ගෙණහැර දක්වා චතුස්සත්‍යය ප්‍රකාශ කොට වදාළ සේක. චතුස්සත්‍යය දෙශනාවගේ කෙළවර ඒ භික්ෂූන් වහන්සේ සෝවාන් ඵලයෙහි පිහිටිසේක. බුදු රජානන් වහන්සේද පූර්වාපර සන්ධි ගළපා සකුණ ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි බෝසතානන්ගේ අවවාදය කළා වූ පක්ෂීහු දැන් බුදුපිරිස් වුවාහුය. නුවැනැති පක්ෂිව උපන්නෙම් වනාහි තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළ සේක.

 
< පසුපසට   ඉදිරියට >

Links

Ads

Banners

Advertisement