Skip to content

Default screen resolution  Wide screen resolution  Increase font size  Decrease font size  Default font size 
You are here:    Home
46 නක්ඛත්ත ජාතකය PDF ලෙස මුද්‍රණය කරන්න ඉ-තැපැල්

තවද එක් සමයෙක්හි ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සේක් එක්තරා ආජීවකයෙකු අරභයා මේ ජාතකය වදාළ සේක.

සැවැත්නුවර වනාහි එක්කුලයෙක දුවනී කෙනෙකුන් ජනපදයෙහි වාසය කරන්නා වූ එක් කුලපුත්‍රයෙක් තමාගේ පුත්‍රයාහට වලක්වා අසවල් දින යෙහි කැඳවාගෙණ යන්නෙමි නියා දවස නියමකොට තබා ඒ දිනය පැමිණි කල්හි තමාගේ කුළුපග වූ ආජිවකයක්හුගෙන් විචාලේය. ස්වාමීන් වහන්ස අද අප එක් මඟුලක් කරම්හ. නක්‍ෂත්‍ර යහපත්දෝහෝ අයහපත්දෝහෝයි විචාළේය. ඒ ආජීවකතෙම සිතනුයේ මේ තෙම මා අතින් පළමුවෙන් නොවිචාරා දවස්තබා දැන් විචාරන්නේය වන්නාට මොහු හික්මවන්නෙමි කිපී අද නක්‍ෂත්‍ර යහපත් නොවන්නේය. දැන් මගුල් නොකරව ඉඳින් කළාහු නම් මහත් විනාශවන්නේයයි කීයේය. ඒ කුලයෙහි මනුෂ්‍යයෝ ඔහුගේ වචනය අදහාගෙණ එදවස නො ගියාහුය. නුවරවාසීහූ සියලු මංගල්‍යය ක්‍රියාව කොට ඔහුන්ගේ නොඊමදැක ජනපදවාසීන් විසින් අද දවස තබන ලද්දේය. නොම ආවාහුය. අපගේ ද බොහෝ වස්තුව විනාශයට ගියේය. අපට ඔහුන්ගෙන් කවර ප්‍රයෝජනද අපගේ දුවනීයන් අනිකක්හට දෙම්හයි කියා කරණ ලද මගුලෙන්ම දුවනියන් අනිකක්හට දුන්නාහුය. අනිකුත් ජනපදවැසි කුලයෙහි ඇත්තෝ දෙවැනි දිනයෙහි අවුත් අපට කුමාරිකාවක දෙවයි කිවාහුය. ඉක්බිත්තෙන් ඔහුන්ට සැවැත්නුවර වාසීහු කියන්නාහු ජනපද වාසී වූ තෙපි ගෘහපතියෝය, පවිටු මනුෂ්‍යයෝය, දවස් තබා අනාදරයෙන් නො ආවාහුය. ආවාහු මගින්ම නැවත යව අප විසින් අන්‍යයන්ට කුමාරිකාව දෙන ලද්දීයයි කියා පරිභව බැන්නාහුය. ඔහු ඔවුන් හා සමඟ ඩබරකොට ආවාහූ මගින්ම ගියාහුය. ඒ ආජීවකයා විසින් ඒ මනුෂ්‍යයන්ගේ මගුලට අන්තරාය කළ බව භික්ෂූන්ගේ අතුරෙහි ප්‍රකාශ වූයේය. ඒ භික්ෂූ දම්සභා මණ්ඩපයෙහි රැස්ව උන්නාහු ඇවැත්නි ආජීවකයා විසින් කුලයාගේ මගුලට අන්තරාය කරණ ලදැයි කියමින් හුන්නාහුය. ශාස්තෘන් වහන්සේ අවුත් මහණෙනි මේ දම්සභා මණ්ඩපයෙහි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාළ කල්හි මෙනම් කථාවකිනැයි දැන්වුවාහුය. මහණෙනි ආජීවකයා විසින් කුලයාගේ මගුලට අන්තරාය කෙළේ දැන් මතු නොවෙයි පූර්වයෙහිද මේ ආජිවකතෙම ඔවුන්ට කිපී මගුලට අන්තරාය කෙළේයයි වදාරා ඉකුත්වත් කථාව ගෙණහැර දක්වා වදාළසේක.


යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍ය කරණ කල්හි නුවරවාසීහූ ජනපදවාසින්ගේ දුවනි කෙණෙකුන් රුස්වා දවස් නියමකොට තබා තමාගේ කුළුපග වූ ආජීවකයෙකුගෙන් විචාළාහුය. ස්වාමීන් වහන්ස අද අපගේ එක් මංගළ්‍ය ක්‍රියාවක් ඇත. නකක්‍ෂත්‍රය යහපත්දෝහෝ අයහපත්දෝහෝයි විචාළාහුය. ඒ ආජිවකතෙම සිතනුයේ මොහු තමාගේ අභිප්‍රාවෙන් දවස නියම කොට තබා දැන් මාගෙන් විචාරන්නා හුයයි කියා කිපී අද මොහුන්ගේ මගුලට අන්තරාය කෙරෙමියි සිතා අද නක්‍ෂත්‍රය යහපත් නොවන්නේය. ඉදින් මගුල් කළෝ නම් මහත් විනාශයට පැමිණෙන්නාහුයයි කියේය. ඒ නුවර වාසීහු ඔහුගේ වචනය අදහාගෙණ නොආවාහුය. ජනපද වාසීහු ඔවුන්ගේ නොඊම දැන නුවරවාසීහු අද දවස තබා නොආවාහුය. අපට ඔවුන්ගේ ප්‍රයෝජන කවරේදැයි කියා අන්‍යයන්හට දුවනියන් දුන්නාහුය නුවරවාසීහු දෙවැනි දිනයෙහි අවුත් කුමාරිකාව ඉල්වූ වාහුය. ජනපදවාසීහු කියන්නෝ තෙපි නුවරවාසීහු නම් නසනලද ලජ්ජා ඇති ගැහැවියහ දවස තබා කුමාරිකාව නොගත්තාහ, අප තොපගේ ගමන් නැති බැවින් අන්‍යයන්ට දුනුම්හයි කිවාහුය. අපි ආජීවකයක්හූගෙන් විචාරා නක්‍ෂත්‍රය යහපත් නොවන බැවින් නො ආම්හ. අපට කුමාරිකාව දෙවයි කීවාහුය. අප විසින් තොප නොඑන බැවින් අන්‍යයන්ට දෙනලද්දේය, දැන් දෙනලද කුමාරිකාව කෙසේ නැවත ගෙණ එමෝදැයි කියා මෙසේ ඔවුන් ඔබිනොබ ඩබර කරණ කල්හි එක් නුවරවැසි ප්‍රඥාවත් පුරුෂයෙක් එක් කර්මාන්තයක් නිසා ජනපදයට ගියේය. අපි ආජීවකයාගෙන් විචාරා නක්‍ෂත්‍රය යහපත් නොවන බැවින් නො ආම්හයි කියන්නාවූ ඒ නුවර වාසීන්ගේ වචනය අසා නක්‍ෂත්‍රයෙන් කවර ප්‍රයෝජනද කුමාරිකාවගේ ලැබීම් නක්‍ෂත්‍රය නොවේදැයි කියා මෙසේ කීසේක. නක්‍ෂත්‍රය බලන්නාවු අඥානයාගේ අර්ථය ඉක්මෙන්නේය. අර්ථයට අභිෂ්ටාර්ථප්‍රතිලාභය ම නක්‍ෂත්‍ර නම් තාරකා රූපයෝ කවර නම් අර්ථයක් සාදද්දැයි කීසේක. නුවරවාසීහු ඩබර කොට කුමාරිකාව නො ලැබ ගියාහුය. ශාස්තෘන් වහන්සේ ද මහණෙනි මේ ආජීවකතෙම මේ කුලයාගේ මගුපට අන්තරාය කළේ දැන් මතු නොවෙයි. පූර්වයෙහිත් අන්තරාය කෙළේම යයි කියා මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ නක්‍ෂත්‍ර ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි ආජීවකතෙම දැනුදු ආජීවක වූයේය. එසමයෙහි ඒ කුලයෝ දැනුදු මේ කුලයෝ වූවාහුය. ඔවුන්ට අවවාද කියා සිටියා වූ පණ්ඩිත පුරුෂයන් වූයෙන් වනාහී තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 
< පසුපසට   ඉදිරියට >

Links

Ads

Banners

Advertisement