Skip to content

Default screen resolution  Wide screen resolution  Increase font size  Decrease font size  Default font size 
You are here:    Home
58 දුරාචාර ජාතකය PDF ලෙස මුද්‍රණය කරන්න ඉ-තැපැල්
 
තවද එක් සමයෙක් හී තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසන සේක් උපාසකයක්හූ අරභයා මේ ජාතකය වදාළසේක.

සැවැත්නුවර වාසය කරන්නාවූ එක් උපාසකයෙක් වනාහී තිසරණ සරණයෙහි හා පංඥශිලයෙහිද පිහිටියේය. බුදුන් කෙරෙහි මමත්වය කරන්නේ. ධර්මය කෙරෙහි මමත්වය කරන්නේය. සංඝයා කෙරෙහි මමත්වය කරන්නේය, ඔහුගේ භාර්යාව වනාහී දූස්සිලය. පාප කර්මයෙහි හැසිරෙන්නීය, යම් දවසෙක මිත්‍ථා්‍යා චාරයෙහි හැසුරුණාද එදවස් සියයක් වස්තු දී ගත් දාසියක මෙන් වන්නීය. මිත්‍ථ්‍යාචාරය නොකළාවූ දිනයෙහි වනාහී ස්වාමිදුවක් මෙන් වැන්නීය. චණ්ඩය, පරුෂය, ඒ උපාසකතෙම ඒ ස්ත්‍රියගේ ස්වභාව දැනගන්නට නොහැකි වන්නේය. ඉක්බිත්තෙන් ඒ ස්ත්‍රි විසින් පෙළනලද්දේ බුදුන්ට උපස්ථානයට නොයන්නේය. ඉක්බිත්තෙන් එක්දවසක් සුවඳමල් ආදීය ගෙණවුත් නමස්කාර කොට එකත්පසව උන්නාහු උපාසකයාහට සර්වඥයන් වහන්සේ වදාරණසේක් උපාසකය තෙපි කවර කාරණයකින් සත් අට දවසක් බුද්ධ උපස්ථානයට නොආයෙහිදැයි වදාළසේක.

ස්වාමීන් වහන්ස මාගේ ස්ත්‍රිතොමෝ එක්දවසක සියයක් වස්තු දී ගත් දාසියක් මෙන් වන්නීය. එක් දිනයක ස්වාමිදුවක් මෙන් වන්නීය. චණ්ඩය, පරුෂය, මම ස්ත්‍රීයගේ ස්වභාව දැනගන්ට නොහැකිවන්නෙමි. මම ඒ ස්ත්‍රිය විසින් පීඩාවට පැමිණියෙමි සර්වඥ උපස්ථානයට නොයෙමි දැනුවූයේය.ඉක්බිත්තෙන් ඒ උපාසකයාගේ වචනය අසා සර්වඥයන් වහන්සේ වදාරණ සේක් උපාසකය මාගමුන්ගේ ස්වභාවය නම් දැනගත නොහැක්කේයයි වදාරා පූර්වකාලයෙහිද නුවණැත්තෝ තොපට ස්ත්‍රීන්ගේ ස්වභාවය ප්‍රකාශ කළාහුය.. තෙපි වනාහී ඒ කාරණාව භවයෙන් වැසී තිබෙන හෙයින් සලකාගන්ට නොහැකිවූවාහුයයි වදාරා ඒ උපාසකයා විසින් ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

 

 


යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහබෝසතානන් වහන්සේ දිසාපාමොක් ආචාරීව පන්සියයක් පමණ මාණවකයන්ට ශිල්ප උගන්වන්නාහුය. එකල අන්‍ය රාජ්‍යවාසීහූ එක් බ්‍රාහ්මණ මානවකයෙක් අවුත් බෝධිසත්වයන් ස්වමීපයෙහි ශිල්ප උගන්නේය. එක් ස්ත්‍රියක් කෙරේ පිළිබඳ සිත් ඇතිව ඈ භාර්යාව කොට එම බරණැස්නුවර වසන්නේ දෙතුන් වේලක් ආචාරීන්ට උපස්ථානයට නොගියෝය, ඔහුගේ භාර්යාතොමෝ දුස්සීලය, පවිටුවූ ස්වභාව ඇත්තේය. මිත්‍යාචාර කළාවූ දිනයෙහි දාසියක් මෙන් වන්නීය. නොකළ දිනයෙහි ස්වාමිදුවක් මෙන් වන්නීය. චණ්ඩය, ඵරුෂය, ඒ බ්‍රහ්මණ මානවකයා ඇගේ අභිප්‍රාය දැනගත නොහෙන තැනැත්තේ ඈ විසින් පීඩිත වූ වියවුල් සිත් ඇත්තේ ආචාරීන්ට උපස්ථානයට නොයන්නේය. ඉක්බිත්තෙන් සත් අට දවසක් ඉකුත්කොට ආවාහූ මාණවකයා දැක මාණවකය මෙතෙක් දවස් තොප නුදුටුයේ කුමක් නිසාදැයි ආචාර්යතෙම විචාළේය. එබස් ඇසූ මාණවකයා කියන්නේ ආචාරීන් වහන්ස මාගේ භාර්යා, තොමෝ මාම කැමති වන්නීය. එක් දවසක් දාසියක් මෙන් නිහතමානී වන්නීය. එක්දවසක් ස්වාමීදුවක් මෙන් තදය, රුක්ෂය, මම ඇගේ අභිප්‍රාය දැනගත නොහෙම්, ඈ විසින් පීඩිතව වියවුල් සිත් ඇත්තෙම් නුඹවහන්සේට උපස්ථානයට නොආයෙමි කීය. එකල ආචාරීහූ කියන්නෝ මාණවකය එසේමය ස්ත්‍රීහූ නම් අනාචාරයෙහි හැසිරුනු දවස් පුරුෂයා අනුව පවතිත්, දාසියක් මෙන් නිහත මානී වෙති, අනාචාරයෙහි නොහැසිරුනු දවස් තමන් ඇතිවූ වල්ලභයා කිසිවෙකු කොටත් නොසිතති. මෙසේ මේ ස්ත්‍රීහූ නම් ඵරුෂයහ, දුස්සීලයහ, ඔවුන්ගේ ස්වභාව දැනගත නොහැක්කේය, උන් කැමති කල්හිත් මධ්‍යස්ථව විසිය යුතුයයි කියා ඒ මාණවකයාට මෙසේ අවවාද කළාහුය. එම්බල මාණවකය මේ ස්ත්‍රී මා කැමති වන්නීය. පතන්නීය, මා කෙරෙහි සෙනහ කරන්නීයයි සතුටුනොව, මෝතොමෝ මා නොකැමතිවන්නීයයි සෙනෙහ නොකරන්නීයයි කියා ශෝක නොකරත්, කැමති කල්හි සතුටක්වත් නොකමැති කල්හි ශෝකයක් වත් නොකොට මධ්‍යස්තවම වාසය කරව, ස්ත්‍රීන්ගේ අභිප්‍රාය නම් ස්ත්‍රී මායාවෙන් සැඟවුනු හෙයින් නොදතහැක්කේය. ඊට කාරණා කවරේද යත්, යම්සේ මත්ස්‍යයා ගමනාදියෙන් සැඟවුනු බැවින් නොදතහැක්කේ වේද. එසේ හෙයින්ම ඒ මතස්‍යයා කෙවිලන් තමා අම්මනට ආ කල්හි දියෙන් තමාගේ ගමන සඟවාලා යේද තමා අල්වාගත නොදේද එපරිද්දෙන් ස්ත්‍රීහු නම් මහත් වූ දුස්සීලකර්ම කොට අපි මෙබන්දක් නොකළම්හයි, තමන් කළාවූ කාරිය ස්ත්‍රී මායාවෙන් සඟවා පුරුෂයන් වඤාචා කෙරෙති, එසේහෙයින් මේ ස්ත්‍රීහු නම් පාපකර්මය, දුරාචාරයහ. එසේ වූ ස්ත්‍රීන් කෙරෙහි මධ්‍යස්තව වසන්නා වූ සත්වතෙමේ සුවපත් වන්නේයයි මෙසේ මහාබෝසතානෝ අනේතවාසීකයාට අවවාද කළාහුය. එතැන්පටන් අනේතවාසිකයා ඒ ස්ත්‍රිය ද කෙරෙහි මධ්‍යස්ථ විය, ඔහුගේ භාර්යාවත් ආචාරීන් විසින් මාගේ දුස්සීල භාවයද දන්නා ලද්දේයයි එතැන් පටන් අනාචාරයක් නොකළාහ. ඒ උපසාකයාගේ ස්ත්‍රීන් බුදුරජානන් වහන්සේ විසින් මාගේ දුරාචාර බව දැනගන්නා ලද්දේයයි එතැන් පටන් පාපකර්ම නොකළාහ. ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට වදාළසේක. චතුස්සත්‍ය ධර්ම දේශනාවගේ කෙළවර උපාසකයා සෝවාන් පෙළෙහි පිහිටි යේය. සර්වඥයන් වහන්සේ පූර්වාපර සන්ධි ගළපා මේ දුරාජාන ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි ස්ත්‍රී පුරුෂයෝ දෙදෙනා නම් දැන් ස්ත්‍රී පුරුෂයෝ දෙදෙනාය. දිසාපාමොක් ආචාරීවූයෙම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 
< පසුපසට   ඉදිරියට >

Links

Ads

Banners

Advertisement