තවද එක්සමයෙක්හි සසර කතරින් එතර කරණ හෙයින් ගැල්සාත්තු වාහකයක්හූ වැනි වූ සර්වඥයන් වහන්සේ සැවැත්නුවරට වඩනා සේක් සැරියුත් මහතෙරුන් වහන්සේට සෙනසුන් වැළැකීමක් අරභයා මේ ජතකය වදාළ සේක. අනේපිඬු මහසිටානන් විසින් විහාරය කරවා දූතයන් යැවූ කල්හි ශාස්තෘන් වහන්සේ රජගහනුවරින් නික්ම විශාලාමහනුවරට පැමිණ එහි කැමති පරිද්දෙන් වාසය කොට සැවැත් නුවරට එමි කියා මගට පිළිපන්සේක. එසමයෙහි වනාහි ෂඩ්වර්ගික භික්ෂූන්ගේ අතවැසි භික්ෂූන් අභිමුඛව ගොස් ස්ථවිරයන් වහන්සේලාට සෙනසුන් නොගත් කල්හිම මේ සෙනස්න අපගේ උපාධ්‍යයන් වහන්සේටය මේ සෙනස්න ආචාරීන් වහන්සේටය මේ සෙනස්න අපටම වන්නේ යයි කියා සෙනසුන් වලකාත්, පසුව ආවාවූ ස්ථවිරයන් වහ්නේසලා සෙනසුන් නො ලබන්නාහුය. සැරියුත් මහතෙරුන් වහන්සේගේ ද අතවැසි භික්ෂූහු ස්ථවිරයන් වහන්සේට සෙනස්න සොයන්නාහු නොලද්දාහුය. සැරියුත් මහතෙරුන් වහන්සේ සෙනස්නක් නොලැබමින් සර්වඥයන් වහන්සේගේ සෙනස්නට නුදුරු තැනැක්හි එක් වෘක්ෂ මූලයෙක්හි හිඳිමෙන්ද සක්මන් කිරීමෙන්ද කල්යවුසේක. සර්වඥයන් වහන්සේ අළුයම් වෙලෙහි පිටතට නික්ම කැසපිසේක. තෙරුන්ව වහන්සේ ද කැසපි සේක, මේ තෙමේ කවරෙක්ද ස්වාමීන් වහන්ස මම ශාරිපුත්‍රයෙමි කී සේක.ශාරීපුත්‍රස්ථවිරය මේ වෙලාවෙහි මෙතැන්දි කවරක් කරන්නෙහිදැයි වදාළ සේක. සැරියුත් මහතෙරුන් වහන්සේ මේ ප්‍රවෘත්තිය දැන්වූ සේක. ශාස්තෘන් වහන්සේ ස්ථවිරයන් වහන්සේගේ බස් අසා දැන් වනාහි මා ජිවත් ව ඉන්දදී භික්ෂුහු ඔවුනොවුන් ගෞරව නැත්තෝය. ආදර නැත්තෝය. පිරිනිවන් පෑ කල්හි කවරක් කරන්නාහුදෝයි ආවර්ජනා කරන්නාහට ධර්මසංවේගය පහළ වූයේය. සර්වඥයන් වහන්සේ රාත්‍රිය පහන් වූ කල්හි භික්ෂූ සංඝයා රැස් කරවා භික්ෂූන්ට වදාරණසේක් මහණෙනි. ශඩ්වර්ගික භික්ෂූ පෙරටු පෙරටුව ගොස් ස්ථවිර භික්ෂූන් වහන්සේලාට සෙනසුන් වැලකුවෝ සැබෑදයි විචාරා වදාළ සේක. භාග්‍යවතුන් වහන්ස සැබෑවයි කිවාහුය. ඉක්බිත්තෙන් ෂඩ්වර්ගික භික්ෂූන්ට ගර්භාකොට ධර්ම කථාව වදාරා භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට මහණෙනි. අග්‍ර ආසන අග්‍ර උදෙක අග්‍ර පිඩු කවරක්හට ලබන්ට සුදුසුදැයි විචාරා වදාළසේක. සමහර භික්ෂූහු ක්‍ෂත්‍රිය කුලයෙන් පැවිදි වූයේය. සමහර කෙණෙක් බ්‍රහ්මණ කුලයෙන් මහණවූයේය, ග්‍රහපති කුලයෙන් මහණ වූ යේය. ඔවුන්ට සුදුසුයයි කීවාහුය. සමහර කෙණෙක් විනයධර භික්ෂූහුය. ධර්මකථික භික්ෂූහුය ප්‍රථමංධ්‍යානලාභීය, චිතියංධ්‍යානලාභීය, තෘතියධ්‍යානලාභීය, චතුර්තං ධ්‍යානලාභීය. කිවාහුය. සමහර කෙණෙක් සෝවාන්ය. සකෘදාගාමීය.අනාගාමිය, අර්හත්ය, ත්‍රිවිiාවට පැමිණියාහ ෂඩ්අභිඥාවට පැමිණියාහුයයි කීවාහුය. මෙසේ ඒ භික්ෂූන් විසින් තමන්ගේ අභිප්‍රාය වශයෙන් අග්‍ර ආසනාදියට සුදුසු භික්ෂූන් කී කල්හි සර්වඥයන් වහන්සේ වදාරණසේක් මහණෙනි. මාගේ සාසනයෙහි අග්‍ර ආසනාදියට පැමිණ ක්‍ෂත්‍රිය කුලයෙන් පැවිදිවුයේ පමණ නොවෙයි බ්‍රාහ්මණ කුලයෙන් පැවිදිවුයේ පමණ නොවෙයි ගෘහපති කුලයෙන් පැවිදි වූයේ පමණ නොවෙයි විනයධර තැනැත්තේ ද පමණ නොවෙයි සුත්‍රාන්තික තැනැත්තේද පමණ නොවෙයි අභිධර්ම දන්නා තැනැත්තේද පමණ නොවෙන්නේය. ප්‍රථමධ්‍යානාදී වූ ධ්‍යානලාභීහුද පමණ නොවන්නේය. ශ්‍රෝතාපත්‍යදී වූ මාර්ගඵල ලාභීහුද පමණ නොවන්නේය. වැලිදු වනාහි මහණෙනි මේ ශාසනයෙහි පටි පාටිය වූ පරිද්දෙන්ම වැඳිම ද හුනස්නෙන් නැගීමද අඤජලිකම්ද, ආදර කියාද, කටයුත්තේය. අග්‍ර ආසනය අග්‍ර උදකය අග්‍ර පිණ්ඩිත ලැබ්බ යුත්තේය. මෙහි මේ ප්‍රමාණය ඒ කාරණයෙන් වැඩිමහලු භික්ෂූන් වහන්සේ මෙකී දෙය ලැබීමට සුදුසුය දැනුදු වනාහී මහණෙනි ශාරිපුත්‍රස්ථවිර තෙම මාගේ අග්‍රශ්‍රාවකය මා අනුව ධර්මචක්‍රයට පවත්නේය මට අනතුරුව සෙනස්න ලබන්නට සුදුසුය. ඒ ශාරිපුත්‍රස්ථවිර තෙම මේ රාත්‍රියෙහි සෙනස්නක් නොලබනසේක් වෘක්‍ෂ මූලයෙක්හි කල්යවු සේක. තෙපි දැන්ම මෙසේ ගෞරව නැතිව ආදර නැතිවුවාහුය. කල් යත්යත් කවරක් කොට වසන්නාහුදැයි කියා ඉක්බිත්තෙන් ඒ භික්ෂූන්ට අවවාද දෙනු පිණිස මහණෙනි පෙර තිරශ්චිනගතයෝද මෙසේ විසීම අපට සුදුසු නොවන්නේය. අපි ඔහුන් ගරු නොකොට ආදර නොකොට අසහායවෘත්තීව වාසය කරම්හ. අප අතුරෙන් මහලු යමක්හු දැනගෙණ ඕහට අභිවාදනාදිය කරම්හයි කියා යහපත් සේ පරීක්ෂා කොට මේ තෙම අපට මහළුයයි දැන ඕහට අභිවාදනාදීය කොට දිව්‍යලොක මාර්ගය පුරමින් ගියාහුයයි වදාරා ඉකුත්වත් කථාව වදාළ සේක. |